අඟලෙන් නැති වු ගිනස් වාර්තාව

සාමාන්‍ය මිනිසකුට නම් මේ දේවල් එතරම් ලොකු සිහින නොවේ. එහෙත් එඩ්වඩ්ට එසේ නොවේ. කොලොම්බියාවේ බොගෝටා අගනගරය ආසන්නයේ පිහිටි දිළිඳු ගම්මානයක ජීවත් වන එඩ්වඩ්ට මේවා ලොකු සිහින වන්නේ ඔහුගේ උස සලකන විටය. අඟල් 27ක් උස ඔහු පෙනුමින් කුඩා දරුවකුට සමානය.
2009 වසර වනතුරු එඩ්වඩ් ඔහුගේ පවුලේ සාමාජිකයන් සමග ජීවත් වූයේ අප්‍රකටවය. අනෙකුත් දරුවන් උස් මහත් වෙද්දී තමා ලොකු නොවීම ගැන ඔහුට තිබුණේ තරහවකි. ඒ ගැන දිගින් දිගටම සිත කරදර කරගැනීම නිසාම හෙතෙම මානසික ආතතියට ලක් විය. එහෙත් අවසානයේ ඔහු දෛවයට හිස නමන්නට හිත හදා ගත්තේය.
ඔහු ඔසවා ගන්නට මිනිසුන් දරන උත්සාහයෙන් සහ කුඩා දරුවන්ගේ සරදම් ප්‍රශ්නවලින් මිදෙන්නට එඩ්වඩ් ගෙතුළටම වී සිටින්නට පුරුදු විය. ඒ අතරම මව නයෝමි නිවසේ පවත්වාගෙන ගිය රෙදිපිළි ව්‍යාපාරයට ඔහු උදව් විය.
“ඔහුට එළියට යන්න බැහැ. ඔහු අතුරුදන් වෙනවා. මිනිස්සු සෙල්ලම් බඩුවක් වගේ ඔහුව අරගෙන යනවා...”
ඔහුගේ මව නයෝමි කියන්නීය.එහෙත් 2010 වසරින් පසු එඩ්වඩ්ගේ ජීවිතයට වෙනස්ම කාලයක් උදා වුණේය. ලොව මිටිම මිනිසා ලෙස ගිනස් වාර්තා පොතේ නම රඳවාගෙන සිටි චීන ජාතික ජින්ග් ජින්ග් මිය ගියෙන් ඒ වාර්තාව එඩ්වඩ්ට හිමි විය. එක රැයින් හෙතෙම සුපිරි තරුවක් බවට පත්වූයේය. ලොව පුරා මාධ්‍යවල ඔහු ගැන පළවන්නට විය.
“මට පුදුම සතුටක් දැනුණා. මම තමයි ලෝකේ ඉන්න මිටිම මිනිසා කියන ආඩම්බරය මගේ හිතට දැනුණා...”ජනප්‍රියත්වය සමග එඩ්වඩ්ට මුදල්ද ගලා ආවේය. රූපවාහිනී වැඩසටහන්වලින් ඔහුට ආරාධනා ගලා එන්නට වූ අතර ඔහු ඒ වෙනුවෙන් විශාල මුදලක් අය කළේය. උපතේ සිට ඔහුට බලපෑ විවිධ සංකූලතා වෙනුවෙන් නොමිලයේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථාද උදාවිය. ජනපති මැදුරට ගොස් කොලොම්බියානු ජනපතිවරයා හමුවීමේ අවස්ථාවද එඩ්වඩ්ට හිමි විය.
එතෙක් කල් දුටු සිහින සැබෑ කරගන්නට ආසන්නයටම හෙතෙම පැමිණ සිටියේය. ජීප් රථයක් මිලදී ගන්නට ගිය ඔහු රථ කිහිපයක්ම පරීක්ෂා කර බැලීය. ජීප් රථයක් තෝරා එය මිලදී ගන්නට පැමිණෙන බවට ජීප් රථ අලෙවිකරුට පොරොන්දුවක්ද විය.
එහෙත් යළි නිවසට පැමිණි එඩ්වඩ්ගේ සිහින පමණක් නොව බලාපොරොත්තු ප්‍රාර්ථනාද සුන්වී තිබිණි. එඩ්වඩ් ලොව මිටිම මිනිසා ලෙස වාර්තා පොතට එක්වී සති හයකට පසු ලොව මිටිම යෞවනයා ලෙස කිරුළ දරා සිටි නේපාලයේ කගේන්ද්රා තාපා මගාර් 18 වැනි වියට පා තැබිය. ඒ අනුව මගාර්ද ලොව මිටිම මිනිසා අංශයට අයත් විය. මගාර් එඩ්වඩ්ට වඩා අඟලක් මිටි වූ අතර ඒ අඟලේ වෙනස මේ මිනිසුන් දෙදෙනාගේම ජීවිත මහා පරිවර්තනයකට ලක් කළේය. ලොව මිටිම මිනිසා මගාර් වෙද්දී එඩ්වඩ් එක රැයින් බැස ගිය තරුවක් බවට පත්වූයේ නිරායාසයෙනි.
“මගාර් පළමුවැනි වතාවට දකිද්දී මට කම්පනය දරාගන්න බැරිවුණා. පිස්සු හැදුණා වගේ වුණා. ඒත්.. මගේ අම්මා මට කිව්වා මම ඔහු ගැන සතුටු වෙන්න ඕන කියලා...”ඒ එඩ්වඩ්ගේ හඬය.කාලයක් ලෝකයේ අවධානයට ලක්ව යෙහෙන් වැජඹුණු එඩ්වඩ් අද ඔහුගේ මිතුරා වන පැබ්ලෝගේ වෙළෙඳ සංකීර්ණයක සේවය කරයි. ඔහුගේ දිනක වැටුප පවුම් 50කි. එහෙත් ඔහුගේ මුහුණේ සිනහව නම් තවමත් මැකී නැත.
“පෙනුමින් ළමයෙක් සහ වයසින් වැඩිහිටියෙක් වීම ගැන මම සතුටු වෙනවා. මිනිස්සු මට කැමැති ඒ නිසා. ඔවුන් මාව ඔසවා ගන්නවා. මාව සිප ගන්නවා. ඒ වගේම ඔවුන් මාව ගමන් එක්ක යනවා...”මිනිසුන්ගේ ජීවිතවල ඉටුවන සිහින මෙන්ම ඉටු නොවන සිහිනද ඇති බව එඩ්වඩ් හොඳින්ම අවබෝධ කරගෙන සිටියි.
ඒඩ්වඩ් හර්නාන්ඩේස්ගේ ඡායාරූප පහතින්









කගේන්ද්රා තාපා මගාර්ගේ ඡායාරූප පහතින්




